CSS Drop Down Menu

Monday, July 16, 2018

කඩවර උත්පත්ති කතාව

මෙන්න මෙහෙමයි මේ කඩවර උත්පත්ති කතාව ගැන සඳහන් වෙන්නේ .
අනුරාධපුරය පැත්තේ ගමක ඉතාම ඈත අතීතයේ ජීවත් උනා එක්තරා මනුස්සයෙක් . මේ මනුස්සයා ඇඟේ පතේ හයිය හත්තිය තියෙන හොඳ ඇඟ පත තියෙන මනුස්සයෙක් . ඉතින් මෙයා ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරනවා . කුඹුරු කොටන්න , නියර බඳින්න ඇලවල් කපන්න වගේ වැඩවලට මෙයා හරිම දක්ෂ කෙනෙක් . ඉතින් මේ නිසා මෙයාගේ කුඹුරු වල වී වලින් නම් අඩුවක් උනේ නැහැ . ගොවිතැන් කරන කාලෙට ගොවිතැන් කරාට ඊට පස්සේ මෙයා වැඩි හරියක් කරන්නේ නිදාගන්න එක . ඒත් නිකන්ම නෙවෙයි නිදා ගන්නේ කණපැලෙන්න රා බීලා තමයි නිදා ගන්නේ . ඒ වගේම හොඳට බඩ කට පිරෙන්න කන්නත් ඕන මෙයාට .
දවසක් මෙයාගේ බිරිඳ මෙයාට ගෙදර වැඩ රාජකාරි වගයක් කරන්න කියලා එයාගේ රාජකාරි වගයකට ගෙදරින් බැහැරට යනවා . ඒත් ඉතින් මේ මනුස්සයා කිව්ව වැඩ කරන්නේ නෑ . උයලා තිබ්බ කෑම බීම බඩ කට පිරෙන්න කාලා , රා බීලා ගොරව ගොරව නිදාගත්තා . මෙහෙම නිදාගෙන ඉන්නකොට බිරිඳ එනවා ගෙදර . ඒ එනකොට දකිනවා තමන් කරන්න කිව්ව දේවල් මොකවත් කරන්නේ නැතුව මනුස්සයා කාලා බීලා හොඳට නිදාගෙන ඉන්න හැටි . මේකට මේ බිරිඳට හොඳටම කේන්ති යනවා . ඒ නිසා කරන්නේ උයලා තිබ්බ බත් මුට්ටිය අරගෙන ඇවිත් මේ මනුස්සයට හොඳටම බැනලා බත් මුට්ටිය ඔලුවේ ගහපු එක .
බිරිඳ මෙහෙම කරාට පස්සේ මනුස්සයා හොඳටම කලකිරෙනවා . මොකද කාලා බීලා නිදාගන්නේ කන්න බොන්න ඕන දේවල් හම්බ කරලා තියලා . ඒත් සැනසිල්ලේ ඉන්න නැති නිසා මේ මනුස්සයා බිරිඳට කියන්නෙම නැතුව ගෙදරින් යන්න යනවා . මේ විදියට යන්න ගියාට මෙයට යන්න කියලා තැනක් තිබුණේ නෑ . ඉතින් එයා ජීවත් වෙන්න කල්පනා කරේ වනාන්තරයේ . වනාන්තරයේ ඉන්නකොට මෙයා කෑවේ බිව්වේ ගස්වල කොළ ගෙඩි වගේ දේවල් . කැලේ ඉන්න සත්තුත් එක්ක මෙයා හරිම සමගියෙන් ජීවත් උනා . සමහරවිට ඒ අය මෙල්ල කරගන්න විදියක් මෙයා දැනගෙන ඉන්න ඇති . එහෙමත් නැත්නම් සත්තුන් තේරුම් ගන්න ඇති මේ මනුස්සයාගෙන් තමන්ට කරදරයක් නැහැ කියල . ඒ නිසා සත්තුයි මේ මනුස්සයයි කැලයේ කිසිම් කරදරයක් නැතුව ජීවත් උනා .
දවසක් රජතුමාගේ සේනාව මේ මනුස්සයා හිටපු කැලයේ දඩයමේ ආවා . මුවෝ ගෝන්නු වගේ සත්තු මසට මරාගෙන යන්න තමයි ආවේ . සමහරවිට රජතුමාගේ රාජ භෝජනයට වෙන්න ඇති . එහෙමත් නැත්නම් සෙල්ලමට දඩයමට යන්න වෙන්න ඇති . ඉතින් මෙහෙම දඩයමේ ආවට මේ අයට මොකෙක්වත් අල්ල ගන්න ලැබුණේ නෑ . මොකද මේ කලින් කිව්ව අර ගෙදරින් පැනලා ආව මනුස්සයා රාජ පුර්ෂයින් අලාගෙන ඒ අයට පොලු මුගුරු වලින් ගහලා එළවන නිසා .
දැන් ඉතින් අහන්න එපා රාජ පුර්ශයෝ ගාව දුනු ඊතල කඩු තියෙනවනේ , මේ එක්කෙනා ගාව ඒවා නැහැනේ කියලා . එක කඩුවක් විතරක් තියාගෙන මිනිස්සු 999ක් මරන්න අංගුලි මාලට පුළුවන් උනේ කොසොල් රජතුමාගේ රාජපුර්ෂයින් එක්ක පවා තනියම සටන් කරමින් . ඒ නිසා මෙයාටත් ඒ වගේ හැකියාවක් තියෙන්න ඇති මොකක් හරි . මොකද මම කලින් කිව්වනේ මෙයා හොඳට කන බොන කෙනෙක් කියලා . අනික කැලයේ හිටපු සත්තුන් ගෙන් පවා මෙයාට උදව් ලැබෙන්න ඇති සටන් කරන්න .
ඉතින් අන්තිමට රාජ පුර්ෂයින් හිස් අතින්ම ආයෙත් මාලිගාවට ගියා . මෙහෙම දවස් කීපයක් හිස් අතින් ගියාට පස්සේ දැන් රජ තුමාටත් මස් නැහැ . ඉතින් අන්තිමට කරේ මොකක්ද රජතුමාට පැමිණිලි කරා මෙන්න මෙහෙම යකෙක් වගේ කෙනෙක් ඇවිත් අපිට කරදර කරලා සත්තුන්ව බේරා ගන්නවා . ඒ නිසා අපිට දඩයම් කරන්න විදියක් නැහැ කියලා . පස්සේ රජතුමා විශේෂ සේනාවක් සූදානම් කරවලා ඒ අයව පිටත් කරලා යැව්වා කොහොම හරි මේ කෙනාව අල්ලාගෙන එන්න කියලා .
පස්සේ ඒ සේනාව ගිහින් මේ කෙනාව ල්ලගෙන එනවා . ඒ ආවට ඉතින් වැඩක් නැහැ . මොකද මේ මනුස්සයා කතා කරන්නේ නැහැ . ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා . ඉතින් රජතුමා එක එක උපයවල් යොදවලා බැලුවා මේ මනුස්සයා කතා කරවන්න . ඒත් කතා කරේ නෑ . පස්සේ නගරය පුරා අඬබෙර ගහන්න සූදානම් කෙරෙව්වා මේ කෙනාව කතා කරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට වටිනා තෑගී ලබා දෙනවා කියලා .
මේ කතාව ආරංචි වෙනවා අර කෙනාගේ බිරිඳට . ඊට පස්සේ මේ බිරිඳ මාලිගාවට ඇවිල්ලා කියනවා මේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුර්ශයා . මේ මනුස්සයා ගෙදර ඉන්න කාලේ හොඳට බඩ කට පිරෙන්න කාපු කෙනෙක් . දැන් මේ සද්ද නැතුව ඉන්නේ කන්න නැති නිසා . හොඳ රහට කෑම කන්න දුන්නොත් මෙයා කතා කරයි කියලා . පස්සේ රජතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා . ටික දවසක් හොඳට කාපු මේ මනුස්සයා අන්තිමටම කතා කරා .
පස්සේ රජතුමා වෙච්ච දේවල් හිටියේ කොහෙද කෑවේ බිව්වේ කොහොමද වගේ හැම විස්තරයක්ම අහලා දැනගෙන පස්සේ ඇහුවා මේ යන්නේ නියං කාලය වෙච්චි එකේ කැලේ ඇතුලේ ඉන්නකොට කොහොමද වතුර හොයාගත්තේ කියලා . පස්සේ මේ මනුස්සයා කියනවා කැලේ මැද ථියෙනවෙආ දිය බුබුලකින් පෝෂණය වෙන වතුර නොසිඳෙන කඩ වලක් . ඒ කියන්නේ වතුර පිරිලා තියෙන පොකුණක් වගේ තැනක් . මෙතනින් වතුර පාරක් ගලාගෙන යනවා . අන්න එතනින් තමයි වතුර හොයා ගත්තේ කියලා . පස්සේ රජතුමා එතන කලා වැව හදවලා තියෙනවා .
මීට අසමාන වෙනත් කතාවකුත් මම අහලා තියෙනවා . ඒ තමයි මේ මනුස්සයා කතා කරන්නේ නැතුව ඉන්න නිසා අන්තිමට රජතුමා මේ මනුස්සයට මරණ දඬුවම දෙන්න කියලා නියම කරනවා . ඒ වෙලාවේ මේ මනුස්සයා කතා කරා . පස්සේ එයා කිව්වා මම හිටපු කලය ඇතුලේ කවදාවත් නොසිඳෙන දිය බුබුලක් තියෙනවා . එතනට වතුර බොන්න හැමදාම සුදු ඇතෙක් එනවා . මට අභය දානය දෙනවනම් මම ඒ ඇතාව රජතුමාට අල්ලලා දෙන්නම් කියලා . පස්සේ රජතුමා කැලයේ තියෙන මේ තැන බලන්න යනවා . සුදු ඇතාවත් අල්ල ගන්නවා . පස්සේ මේ තැන වට කරලා බැමි බන්දවලා කලාවැව කියන විශාල වැව හදවනවා . මේ වැවේ වැඩ කරවන්නෙත් මේ මනුස්සයාම තමයි .
ඉතින් මේ මනුස්සයාට අන්තිමට ඇමති කමක් ලැබෙනවා . කලා වැවේ සොරොව් බිසෝකොටුවල ක්‍රියාකාරීත්වය , මඩ ඉවත් කරවීම , රැක බලා ගැනීම වගේ හැම දෙයක්ම බලාගන්න දුන්නේ මේ ඇමතිට . කාලයක් යනකොට මේ ඇමතිට අනෙත් ඇමතිවරු ඉරිසියා කරන්න පටන් ගත්තා . මොකද මේ ඇමති ඒක පාරටම ඇමති කෙනෙක් වෙච්ච කෙනෙක් . අනිත් ඇමතිලා වගේ කිසිම වෙනත් සුදුසුකම් නැතිවයි මේ ඇමති පත් වුනේ . ඒ මදිවට වැව් කර්මාන්තය කරවන පිරිසට අධිපති සෙනෙවිරත්න පදවියත් මේ ඇමතිට ලැබුණා . ඉතින් අනිත් ඇමතිලා තවත් ඉරිසියා කළා .
ඔහොම කාලයක් යනකොට එක නියං කාලයක් ආවා . මේ නිසා කලා වැවත් හිඳිලා ගියා . හිඳුනා කියන්නේ ඉතින් වතුර නැත්තටම නැති වුනා කියන එක නෙවෙයි . කුඹුරු වැඩ වලටත් වතුර මදි උනා කියන එක . මේකට ඒ කාලේ තිබ්බ හොඳම බෙහෙත් තමයි දවස් හතක් වැසි පිරිත් සහිතව පිරිත් දේශනා කිරීම . සාම්ප්‍රදායානුකූලව වැසි පිරිත් දේශනා කරන්නේ වැවේ වැව් බැම්මේ සාදවන ලද පිරිත් මණ්ඩපයක . මේ පිරිත් මණ්ඩපය සාදවලා හාමුදුරුවරු වැඩම කරවලා පිරිත් දේශනා කරවලා ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න සියලුම වගකීම් පැවරිලා තිබුණේ මේ ඇමති තුමාට .
ඉතින් ඔන්න පිරිත් දේශනා කරනන සියලුම දේවල් සම්පූර්ණ කරලා හාමුදුරුවරු පිරිතට වඩිනවා . මේ වැවේ වැව් බැම්මේ තියලා තියෙනවා විශාල මැටි කොතලයක් . වහිනකොට මේකට වතුර පිරෙන තරම අනුව වැවේ වතුර පිරෙන ප්‍රමාණයත් මැනගන්න පුළුවන් . ඉතින් මේ කොතලය හිල් කරන්න කියලා මේ ඇමති තුමාට ඉරිසියා කරන අනිත් අමතිලාගෙන් කෙනෙක් හාමුදුරු කෙනෙක්ට කිව්වා . මේ හාමුදුරුවෝ වයසයි . ඒ නිසා අතේ අරගෙන ආව හැරමිටියෙන් කාටවත් පේන්නේ නැති වෙන්න අර කොතලයේ අඩියට ඇනලා ඒක හිල් කරා . ඊට පස්සේ සුපුරුදු පරිදි පිරිත් දේශනාව ආරම්භකලා .
දවස් හත පිරීගෙන එනකොට ඔන්න වහින්න පටන් ගත්තා . වහිනවා වහිනවා දැන් නවතින්නෙම නෑ . වැවත් ටික ටික පිරෙන්න පටන් ගත්තා . ඇමති තුමාත් සන්තෝසෙන් බලාගෙන හිටියා කොතලය පිරෙනකල් . ඒත් කොතලය පිරෙන්නේ නෑ . වැවේ වතුර වැඩි උනාට පස්සේ ඇමති තුමා කොතලය පරීක්ෂා කරලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා . එතකොට තමයි ඇමති තුමා දැනගත්තේ කොතලය හිල් කරලා කියලා . හාමුදුරුවරුන්ට ඇරෙන්න වෙන කෙනෙක්ට කොතලය තියෙන තැනට යන්න උනෙත් නැති නිසා කොතලය හිල් වෙන්න හාමුදුරුවරුන්ගේ සම්බන්ධයක් තියෙන්න ඕන කියලා ඇමති තුමා කල්පනා කරා .
මේ කල්පනාව අතරේ තමයි දැනගන්න ලැබුණේ වැවේ වතුර වැඩිවෙලා එක පැත්තක වැව් බැම්ම කඩාගෙන ගමක් යට කරගෙන මහා ජාල කඳක් පල්ලම් බහින්න අරගෙන කියලා . ඇමති තුමාට තරහක් වගේම භයක් ඇති උනා . මොකද දැන් රජතුමාගෙන් තමන්ට මරණ දඬුවම ලැබෙන නිසා . පස්සේ තමන්ගේ කඩුවෙන් අර පිරිත් කිව්ව හාමුදුරුවරු සියලු දෙනාම මරලා දාලා කලා වැවට පැනලා තමනුත් ජීවිතය නැති කරගත්තා . මෙහෙම ජීවිතය නැති කරගත්තට පස්සේ මෙයා යක්ෂයෙක් වෙලා ඉපදුනා . කඩවලට පැනලා ජීවිතය නැති කරගත්ත යකා කඩවර කියලා නම් උනා . ඔන්න ඔහොම තමයි කඩවර යකා ඉපදුනා කියලා කියන්නේ .
කඩවර යකා වෙලා ඉපදුනාට පස්සේ මේ යක්ෂ රූපය විටින් විට ගමේ මිනිස්සුන්ට පේන්න වැවේ ඉඳලා මතුවෙලා නැතිවෙලා තියෙනවා . කළා වැව හැදෙව්වේ තමන් නිසා . මෙන්න මේ නිසා කලා වැව තමන්ගේ වාසස්ථානය කරගන්නත් කඩවර යක්ෂයා අමතක කලේ නෑ . කඩවර මනුස්සයෙක් වෙලා ඉන්න කාලෙත් හොඳට කාපු බීපු කෙනෙක් . ඒ නිසාම යක්ෂ ආත්මය ලැබුණත් මෙයාට හොඳට කන්න බොන්න නම් ඕන උනා . ඒ නිසා මේ යක්ෂයා තැනින් තැන ඇවිද ඇවිද කන්න පුළුවන් දේවල් කෑවා . රා බිව්වා . හැබැයි සත්තු මරාගෙන කෑවේ නෑ . වැඩිපුරම කෑවේ තොවිල් වගේ දේවල් වලදී පූජා කරන පුළුටු ද්‍රව්‍ය .
කාලයක් යනකොට මෙයාට හොඳ කෑමක් ලැබෙන්න පටන් ගත්තා . මෙයා ඒ වෙනකොට හිටියේ කතරගම දෙවියන්ගේ දකුණු ආසනය පිහිටලා තියෙන ප්‍රදේශයේ . මේ පැත්තෙන් තමයි කතරගම දෙවියන්ට දේවාලයේ කපු මහත්වරු මුරුතැන අරගෙන යන්නේ . දෙවියන්ට තියන මුරුතැන අඩුම තරමේ හදන කෙනාටවත් රස බලන්න වරම් නැහැ . ඒත් මේ කඩවර යක්ෂයා ඒකට බය උනේ නෑ . කපු මහත්වරුන්ගේ ගමන භාදා කරලා කඩවර යක්ෂයා කතරගම දෙවියන් වෙනුවෙන් හදපු මුරුතැන කන්න පටන් ගත්තා . පස්සේ දවසේ කපු මහත්තයා මේ ගැන කතරගම දේවාලයේ දෙවියන් ඉදිරියේ කන්නලව් කරා . එදා රෑ කතරගම දේවාලයේ කපු මහත්තයට කතරගම දෙවියන් දෘශ්‍ය මාන උනා .
පස්සේ කතරගම දෙවියෝ ඇහුවා කවුද මේ මුරුතැන ගන්න කෙනා කියලා . පස්සේ කපු මහත්තයා කිව්වා ඔබ වහන්සේගේ දකුණු ආසනය කිට්ටුව ඉන්න යක්ෂයෙක් මුරුතැන කනවා කියලා . පස්සේ කතරගම දෙවියෝ යනවා දකුණු ආසනය පිහිටලා තිබුණු ප්‍රදේශයට . එහෙදී කතරගම දෙවියන්ය ඈත ඉඳලාම කඩවර යක්ෂයා දකින්න ලැබුණා . පස්සේ කතරගම දෙවියෝ කඩවර එක්ක කතා කරලා අන්තිමට කඩුවකුත් දීලා කිව්වා අසුරයින් එක්ක යුද්ධ කරලා එන්න . දිනුවොත් තමන්ගේ සේනාවට එකතුකරගන්නවා කියලා . පස්සේ කඩවර අසුරයින් එක්ක යුද්ධ කරලා ජය ගන්නවා . මේ ජයග්‍රහණය පත්තිනි දේවිය දකිනවා.
පත්තිනි දේවිය තමයි කඩවර යක්ෂයා අර්ධ දේව තත්ත්වයට පත් කරන්නේ . පස්සේ කඩවර දේවත්වයට පත්වෙලා තමයි කඩවර කතරගම දෙවියන් හමුවෙන්න එන්නේ . කතරගම දෙවියන් කඩවර දෙවියන්ට තමන්ගේ දකුණු ආසනයේ වැඩ ඉන්න වරම් දෙනවා . ඒ වගේම තමන්ගේ යක්ෂ සේනාවට අධිපති සෙනෙවිරත්න අධිකාරම් තනුතුර ලබා දෙනවා . ඒ වගේම තමයි රුහුණු කතමගම මහා දේවාලයේ ඉදිරියේ පිහිටලා තියෙනවා කියලා කියන සාමාන්‍ය මනුෂ්‍යයින්ට නොපෙනෙන අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ දකුණු පැත්තේ මුර තේවය දිනකට වරක් කරන්නත් කඩවර දෙවියන්ට නියම කරනවා .
ඔන්න ඔහොමයි කඩවර දෙවියෝ ඇතිවෙන්නේ . යක්ෂයෙක් උනත් කඩවර කියන්නේ අර්ධ දේව තත්ත්වයේ ඉන්න කෙනෙක් . ඒ නිසා කඩවර දෙවියන් හා යක්ෂයා කියන තත්ත්ව දෙකේම ඉන්නවා කියලා තමයි කියන්නේ . හැම දවසකම රෑ වූ හත් පැය හමාරට කඩවර දෙවියන් යක්ෂ තත්ත්වයට පත් වෙනවා . පහු වෙනිදා හිරු නැග හත් පැය හමාරට ආයෙත් දේවත්වයට පත් වෙනවා . ඒ කියන්නේ මේ හතහාමාරට නෙවෙයි . මේ කියන්නේ දවස පැය හැටකට බෙදලා තියෙනකොට ගන්න වෙලාව අනුව . ඒ කියන්නේ සිංහල පැයකට තියෙනවා විනාඩි 24ක් . එහෙම බැලුවම ඉර උදාවෙන වෙලාව අනුවත් ඉර බසින වෙලාව අනුවත් මේ වෙලාව වෙනස් වෙනවා . ඒ අනුව තමයි අදාළ වෙලාව ගණනය කරලා ගන්න වෙන්නේ . මොකද අපිට ඔරලෝසු තිබුණට අමනුස්සයින්ට ඔරලෝසු නැහැනේ .
ඉතින් කඩවර දෙවියන් ඉතාම බලසම්පන්න දෙවි කෙනෙක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . කඩවර කියන්නේ ලංකේශ්වර උතුම් මහ රාවණා මහරජතුමාගේ කාලේ ඉඳලා පැවත එන කෙනෙක් කියලා සමහර අය සාක්ෂි සහිතව කරුණු ගෙනහැර දක්වනවා . ඒකත් වෙන්න පුළුවන් . ඒත් ඒ කතාම මම මෙතන ගාවන්න කැමති නැහැ . කඩවර කංකාරිය ගැන යමක් ලියන්න හිතුනු දවසට ඒක ලියන්න කියලා පසුවට කල් තියනවා .
කඩවර දෙවියෝ දේවත්වයට පත් උනාට පස්සේ ලංකාවේ කරදිය වළල්ල වටේ එක වතාවක් ඇවිදලා බලනවා කියලා මතයක් තියෙනවා . මේ වෙලාවට මේ පාර කිසිම කෙනෙක්ට අවහිර කරන්න දෙන්නේ නැහැ කියලත් කියනවා . කඩවර කට්ටුවේ සේනාව කඩවර දෙවියෝ වඩින පාර පැහැදිලි කරලා තියනවා කියලා කියනවා . ඒත් දවසක් ජයරත්න කලුකම්බිලි දේවතාවා මේ පාර අමතක වීමකින් අවහිර කරපු නිසා කඩවර දෙවියෝ කම්බිලි දේවතාවාට දඬුවම් දුන්නා කියලාත් කතාවක් තියෙනවා . ඒ දඬුවම තමයි කිල්ලෝටෙකින් වැලි ඇදලා බිංගිරිය රාජමහා විහාරයේ මළුව පුරවන්න කියපු එක .
කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ සහ වල්ලිඅම්මාගේ විවාහය වෙනුවෙන් පත්තිනි දේවතාවිය නියෝජනය කරන්න වැඩියා කියලා කතාවකුත් තියෙනවා . තව දවසක කතරගම දෙවියෝ වඩිනවා කඩවර දෙවියන්ගේ විමානයට . ඒවෙලාවේ කතරගම දෙවියෝ දකිනවා කඩවර දෙවියන්ගේ මුරුතැන් ගොටුව . මේ මුරුතැනෙන් ටිකක් කන්න කතරගම දෙවියන්ට ආසා හිතිලා මුරුතැන් ගොටුව අරගෙන යනකොට කඩවර දැකලා තියෙනවා ඒක . පස්සේ කඩවර කරලා තියෙන්නේ කතරගම දෙවියන්ගේ අතින් ඒක උදුරාගෙන කාපු එක . ඔන්න ඔය වගේ කඩවර ගැන රසවත් කතා තියෙනවා . කඩවරට කැපවෙච්ච ප්‍රධාන දේවාලය තියෙන්නේ කලාවැවේ වැව් ඉස්මත්තේ . ඒවගේ තවත් දේවාල ගණනාවක් තියෙනවා .
කඩවර වෙනුවෙන් පහන් දල්වන අයට මම දෙයක් කියන්න කැමතියි . සූනියම් දෙවියන්ට වගේම කඩවර දෙවියන්ටත් පහන් දල්වනකොට අමතක කිරීම් නම් කරන්න එපා . කරනවානම් ඒ වෙනුවෙන් කැප වෙලා කරන්න . නැත්නම් කරන්නේ නැතුව ඉන්න . කඩවර සම්බන්ධව මම අහලා තියෙන කතා අනුව බැලුවම මේවා අතපසු කරන්න නම් එපා කියලා තමයි මම කියන්නේ .
මම දන්න හැටියට කතරගම දෙවියන්ගේ වමත් මුර තේවය හිමි වෙන්නේ සූනියම් දෙවියන්ට . දකුණත් මුර තේවය හිමි වෙන්නේ කඩවර දෙවියන්ට . ඒ නිසා දෙන්නම එක වගේ තමයි දඬුවම් දෙන්න ගත්තම දෙන්න පටන් ගන්නේ . නයි එනවනම් තමන් තියන පහනට , එතන මොඅක්ක් හරි වැරද්දක් තියෙනවා . ඒ නිසා මම කියන්නේ මේ වගේ දේවල් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා .
කඩවර දෙවියන් පුද ලබන ප්‍රධානම ශාන්ති කර්ම දෙක තමයි කඩවර කංකාරිය සහ කොහොඹා කංකාරිය . මේ කංකාරි වලදී කඩවර ගොටුව කියන එක හරිම වැදගත් දෙයක් . මේ කදවෙඅර ගොටුවට ගොඩක් වෙලාවට දෙවියන්ට අදාළ කෑම වර්ග වගේම යක්ෂයින්ට අදාළ මස් පුළුටු අරක්කු රා වගේ දේවල් පවා තියනවා . ඒක කඩවරගේ හැටියට සම්මත කරගත්ත දෙයක් . ඒවගේ දේවල් තියලා තමයි කඩවර දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නේ .
කඩවර යක්ෂ කට්ටුව ගත්තම එක එක නම් තියෙන කඩවරලා ඉන්නවා .
අඳුන් කඩවර
සඳුන් කඩවර
මල් කඩවර
පුළුටු කඩවර
කළු කඩවර
දළ කඩවර
කුමාර කඩවර
අලුයම් කඩවර
සැන්දෑ කඩවර
මැදියම් කඩවර
රීරි කඩවර
මේ ඔක්කොම අර කලින් කිව්ව මුල් කඩවරගේ පරිවාර යක්ෂ කට්ටුවේ කඩවර යකුන් මිස මුල් කඩවර දෙවියන් නෙවෙයි . මුල් ක5ඩවර දෙවියන් ගුරුකම් හැම එකකටම වඩින්නේ නැති එක කවුරුත් දන්නා අත්තක් . ඒ වෙනුවෙන් එන්නේ මේ වගේ පරිවාර සේනාවේ කෙනෙක් තමයි . මුල් කඩවරට තියන පූජාව කැප ගන්න මේ අය අදාළ කාරණාව ඉෂ්ට සිද්ධ කරලා දෙනවා .
කඩවර යක්ෂයාගේ මල් පැන්නිල්ල වගේ ගුරුකම් වල ඉඳලා සංකීර්ණ ගුරුකම් කොඩිවින වගේ දේවල් කඩවර එක්ක බැඳිලා තියෙනවා . කඩවර පෙරළුම කියන මහානුභාව සම්පන්න මන්ත්‍රයේ ඉඳලා කඩවර කට්ටුවේ වින කපන්න විවිධ මන්තරත් ගොඩ නැගිලා තියෙනවා .

1 comment:

  1. Me aththa newei boruwak oka newei kadawarayage kathawa boru kiyanna epa minissunta

    ReplyDelete