CSS Drop Down Menu

Monday, July 16, 2018

ඔඩ්ඩිස පිදේනිය නිවැරදිව දෙන ආකාරය

ඔඩ්ඩිස පිදේනිය නිවැරදිව දෙන ආකාරය
පිදේනිය යනු පූජාවකි.මහ සොහොන් පිදේනිය,ඊරියක් පිදේනිය,තොටයක් පිදේනිය,කම්බිලි පිදේනිය,පුළුටු යකා පිදේනිය,මරලු යකා පිදේනය ආදී වශයෙන් නම් කර ඇති පිදේනි සියල්ල පූජා ගණයට අයත් වේ.ඔඩ්ඩිස පිදේනියද ඒ පරපුරේ කෙනෙකු මුල් කරගෙන දෙන පුදයක් බවට හැගුනද මෙහි ඊට වඩා කැපී පෙනෙන වෙනසක් ඇත.ඔඩ්ඩිස යනු ඔඩ්ඩි මංගල දෙවියාය.නැතහොත් හුනියම් දෙවියාය හූනියම් යකාය.නැතිනම් ඔඩ්ඩි වඩිග දේවතාවාය.ඔඩ්ඩිස දෙවි කෙනෙකු වශයෙන් අතකින් ගිනි කබලක්ද අතකින් වඩිග කඩුවක්ද මුඛය තුල විෂගෝර සර්පයෙක්ද,හිසෙහි හැඩපලු පහක්ද, උදරය වටා නාගයන්ගෙන් සැදුනු හවඩියක්ද ඇතුව නිල් තුරගෙකු අරා යයි.හේ ඔඩ්ඩි යකා වශයෙන්ද ඔඩ්ඩි යක්ෂයා වශයෙන්ද අවතාර ගනී.ඔඩ්ඩි යකා අනිකුත් යකුනට වඩා මහ බලකාර දගකාර හයිකාර අයෙකු බව ඔහුගේ ලෙස පිලිගැනේ.සමහර කංකාරි ඇදුරන්ගේ මත අනුව හේ සද මාසයේ මුල් දෙසතියේ දෙවියෙකි අග දෙසතියේ යකෙකි.
අංගාරූඬයේ සත්වන මන්ත්‍ර පාදයේ මෙසේ සදහන්ව ඇත.
“ඕං මරුමකර රාක්ෂ අවතාරලත් ඔඩ්ඩි මස්සිනේ මා දෙන දොල පිදේනි………” මෙහිදී ඔඩ්ඩි රාක්ෂ අවතාරය ගත් බැව්ත් එවිට පූජාව දොල පිදේනිය බවත් කියවේ.
සූනියම් දිෂ්ඨි මන්තරයේදී,
“ඕං හ්‍රීං කමල නාරයන වඩිග රාජ ඔඩ්ඩියා…..” යන්නෙන් සදහනේදී යක්ෂාවතාරය ගනී.
ඔඩ්ඩි දේවතා ස්තෝතර අතර,
“නාගර්ජි පරිවාර භූත තුරගං ගෝවාරනං වාරනං - ශූනයං ඔඩ්ඩි කුමාර මංගල චිරං මේ දේවතා පාතු මාං ”
යයි කියද්දී ඔඩ්ඩි කුමාර දේවතවාය.මේ අනුව ඔඩ්ඩිස යකෙකු වශයෙන්ද,රාක්ශයෙකු වශයෙන්ද,දෙවියෙකු වශයෙන්ද හැගවෙන බව සදහන් කල හැක.ඔහු තොට යකා,කලු යකා,මරලු යකා ආදීන්ගේ පරපුරට නොවැටෙන්නේ ඒ නිසා යැයි අපට සිතිය හැක.
සිද්ධ සූනියම් දෙවිදු වඩින විට ඔඩ්ඩි යකා සහ මහසොහොන් යකා දෙවිදු වඩින පෙරමග ශුද්ධ කරමින් ගමන් ගන්නා බවට මතයක් ඇත.මේවා යම් යම් ගුරුකුල විසින් දරණ මත හෙයින් ඔප්පු කිරීමට සාක්ෂි නොමැත.සූනියම් කැපීමේදී ඔඩ්ඩිස පිදේනිය අනිකුත් පිදේනි අතර දිය යුතුමය.ඔඩ්ඩිස සූනියම් පූජාවත් ඔඩ්ඩිස පිදේනියත් අනිකුත් පිදේනිත් පටලවා ගත යුතු නැත.මහ බලවතෙකු වූ ඔඩ්ඩිස වෙනුවෙන් දෙන පිදේනියේ ගති ලක්ෂණ ගාම්බීර බව පෙනේ.
· පස් බත
· විසිපස මාලුව
· පුළුටු පහ
· දිය මස්
· ගොඩ මස්
· අදුන්ගොටුව
· හදුන් ගොටුව
· ලේ ගොටුව
· ඊරි ගොටුව
· දෙගාත් බිල්ල
තන මත්තක් උසින් තනන පිදේනි තටුව දුම්මල දුම්දීමට පන්දම යොදා ගත යුතුය.
ඔඩ්ඩිස පිදේනිය දෙවොල් මාලිගයෙන් පිටත කඩවර ගොටුවට මුලිච්චි නොවී පිදිය යුතු බවට සමහරක් ගුරුකුල වල සිරිතකි.යම් යම් ගුරුකුල අනුව ඔඩ්ඩිස පිදේනියේ වෙනස්කම් ඇති වුවත් ඔඩ්ඩිස පිදේනිය යන්තමින් බාර ගැනීමට සැදී පැහැදී ඉන්නෙකුට පුදදෙන්නක් නොවේ.
ගරුඬ ඔඩ්ඩිස,දෙමළ ඔඩ්ඩිස,වෙළඹි ඔඩ්ඩිස,ගොපලු ඔඩ්ඩිස,රාජ ඔඩ්ඩිස යනුවෙන් උපත ලද බව ඔඩ්ඩිසට තෝම්බු ලියන්නන් දරණ මතයකි.ඔඩ්ඩිස හූනියම් යකා වශයෙන් හදුන්වන විට ඔහුගේ වම් උරයේ කලුගිරි යකාද දකුණු උරයේ සිට්ටා යකාද සිටින බැව් කියයි.

No comments:

Post a Comment