CSS Drop Down Menu

Monday, July 16, 2018

මොනවද මේ කිලි

මොනවද මේ කිලි කියලා කියන්නේ


මේ කිලි කියලා කියන්නේ අපිරිසිදු දේවල් කියලා පිළිගත්ත දේවල් වලට . මේ අපිරිසිදු බව ස්වාභාවිකවම වෙන්නත් පුළුවන් . නැත්නම් අපිරිසිදු කෙනක් ගාව හෝ අපිරිසිදු තැනකදි ඉඳලා එන හුළඟ වැදිලා තවත් කෙනෙක් අපවිත්‍ර වෙන්න පුළුවන් . මේ අපවිත්‍රතාවය මනුස්සයින්ට කෙලින්ම බලපාන්නේ නෑ . ගැටළුවක් උනොත් වෙන්නේ අමනුස්සයින් මේ කිලි සඳහා දක්වන ප්‍රතිචාරවල හැටියට තමයි .
විශේෂයෙන්ම කියනවනම් දෙවියන් මූලික කරගෙන කරන දේවල් වලදී මේ කිල්ලෙන් වැළකිලා ඉන්න එක වටිනවා . මොකද දෙවියන් මිනිසුන්ගේ ඩහදිය ගඳ පවා අප්‍රිය කරනවා කියලා බුද්ධ දේශනාවේ කියලා තියෙනවා . ඉතින් ඩහදිය ගඳ අප්‍රිය කරනවනාවම් කිල්ල කොහොමත් අප්‍රිය දෙයක් වෙන්න පුළුවන් .
වැදූගෙයි කිල්ල , මල්වර කිල්ල , ඔසප් වීමෙන් ඇතිවන කිල්ල තමයි කාන්තාවන් සඳහා අදාළ කිල්ල වෙන්නේ . ඒත් මළගෙවල් , අපවිත්‍ර ආහාර වර්ග ගැනීම හේතු කරගෙන පිරිමින්ටත් කිල්ල කියන දේ බලපාන්න ඉඩ තියෙනවා . මෙතනදී තවත් වැදගත් දෙයක් කියන්න ඕන . පිරිමින් ස්වයංවින්දනයේ යෙදුනට පස්සේ හෝ ලිංගික ක්‍රියාවල යෙදුනට පස්සේ ඔවුන් නාලා පිරිසිදු වෙනකන් ඔවුන් තුලත් මේ කිල්ල කියන දේ පවතිනවා . එහෙම කියන්නේ ඇයි කියලා මම අන්තිමටම කියන්නම් .
වැදූ ගෙයි කිල්ල කියලා කියන්නේ දරුවෙක් ලැබුනාට පස්සේ ඒ ගෙදර ඇතිවෙන කිල්ල . එහෙම නව උපතක් උනාම ඒ ගෙදර සහ ගෙදර වාසය කරන අනිත් අයත් ඔක්කොම මේ කිල්ලට අහුවෙනවා . ඉතින් මේ වගේ ගෙවල් වලට යන්තර දාපු අය , දේවාල වලට යන අය යාමෙන් වලකිනවා කිල්ලට අහුවෙන නිසා . සාමාන්‍යයෙන් පිළිගැනීම අනුව මාස තුනක් මේ කිල්ල පවතිනවා . මේ කාලය තුල කිරිඅම්මා දාන පැවැත්වීමක් වත් දේවාල වලට යෑම වගේ දේවල්වත් කෙරෙන්නේ නෑ .
කිල්ල නැති කරන්න බැරි උනත් කිලි ගතිය අඩු කරන්න අතීතයේ අය යම් පිළිවෙතක් භාවිතා කරා . ඒ තමයි කොළ වර්ග තම්බපු වතුරෙන් මව නාවාලා පිරිසිදු කරන එක . මෙහෙම නාන්න පාවට්ටා තෙල් එරඬු නික දෙහි කියන කොළ වර්ග භාවිතා කරනවා . මාස තුනක් ගියාට පස්සේ මේ වැදූ ගෙයි කිල්ල නැතිවෙලා යනවා . ඉතින් ඊට පස්සේ පුළුවන් දේවාල වලට යන්න .
ගැහැණු ළමයෙක් පළමු වතාවට මල්වර වීම , එහෙමත් නැත්නම් කොටහළු වීම කියන අවස්ථාවත් කිල්ලක් විදියට සලකනවා . කොටහළු මංගල්‍යයේදී ගැහැණු ළමයා නාවනවා නැකතකට . ඒ නෑමෙන් කිල්ල තරමක් දුරට අඩු කරගැනීමත් බලාපොරොත්තු වෙනවා . එත් සම්පූර්නෙන්ම නැති වෙන්නේ නෑ . මේ කිල්ලත් මාස තුනක් යනකං තියෙනවා .
මල්වර වීමට පස්සේ මාසයක් පාසා ඇතිවෙන ඔසප් වීම නිසාත් කිල්ලක් ඇතිවෙනවා කියලා පිලිගන්නවා . මේ කිල්ල නම් පවතින්නේ දවස් තුනක් විතරයි . ඒ නිසා ආර්තව වීම අවසානයේ දවස් තුනකින් නාලා පිරිසිදු උනාම මේ කිල්ල නැතිවෙනවා .
මරණයක් නිසා ඇතිවෙන කිල්ලත් බරපතල විදියට බලපාන කිල්ලක් . මේ කිල්ලත් මාස තුනක් පවතිනවා කියලා කියනවා . මාස තුනකට පස්සේ මරණය වෙච්ච ගෙදර පිරිත් කියලා බලාපොරොත්තු වෙන්නේ මේ කිල්ලත් නැතිවෙලා ගිහින් ගෙදර ඉන්න අමනුස්සයින් සියලු දෙනාම නිවසින් ඉවත් කරලා දැමීම . මළගෙදරක හරි කොටහළු ගෙදරක හරි ගිහින් එනවානම් තමන්ගේ නිවසට ඇතුල් වෙන්න කලින් දෙහි පළුවක් ඔලුවේ අතුල්ලලා කහ මිශ්‍ර වතුරෙන් නාලා පිරිසිදු වෙන්න කියලා සිරිතක් ඉස්සර පැවතුනා . දැන් නම් මේවා වෙන්නේ නෑ . මොකද ඒවා කරදර වැඩ නිසා .
කිලි කියලා පිළිගත්ත තවත් ආහාර වර්ග කීපයක් තියෙනවා . ඒ තමයි ඌරු මස් , හරක් මස් , අලුපුහුල් , මියන කොළ වගේ කෑම . මේවා කෑමත් කිල්ලට හසුවීමක් කියලා කියනවා . කොහොම උනත් මේ කිල්ලට අහුවෙලා යන්තර මන්තර ගුරුකම් කරාට වැඩක් වෙන්නේ නෑ කියලා අතීතයේ ඉඳලාම පිලිගන්නවා . ඒ වගේම දේවාල වලට ගියොත් දෙවියන් උදහස් වෙනවා කියලා කියනවා . ඒ නිසා කිල්ලෙන් වැළකිලා මේ දේවල් කරනවානම් ඇඟට ගුණයි .
වැරදිලාවත් සුළුවෙන් හරි තියෙනවනම් ඒ කිලි ඉවත් කරන්න යන්තර මන්තර සම්භන්ධව වැඩ කරන අය ළඟ මන්තර තියෙනවා . මේ මන්තර වලින් කරන්නේ ශබ්ධය මගින් ඇතිවෙන කම්පන උදවු කරගෙන කිලි වල තියෙන අපිරිසිදු තත්ත්වය විනාශ කරලා දාන එක . සමහර අය මේ කිල්ල ඉවත් කරන්න වතුර මතුරලා ඉහිනවා . සමහර අය දෙහි මතුරනවා . දෙහි මතුරන අය නම් දෙහි මතුරලා ඒ දෙහි ගෙඩිය හපලා කනවා . එහෙම කන්නේ තමන් ඇදුරෙක් නම් තමන් දැන් යන්නේ මොකක් හරි ගුරුකමක් කරන්න නම් තමාට කිලි වැදිලා තියෙනවනම් ඒවා ඉවත් වෙන්න .
කිලි ගැන කියනකොට තවත් දෙයක් කියන්න ඕන . කිලි තියෙනවද නැත්ද කියලා හොයාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා . හැබැයි කරන්න තමයි අමාරු . මේකට ගජ මධාරා ගහක් හොයාගන්න ඕන . මේ ගජ මධාරා ගස්වල හැදෙනවා පොඩි ගෙඩියක් . මේ ගෙඩි වෙරළු ගෙඩියකට වඩා පොඩ්ඩක් පොඩියි , මෙරූන් පාටට හුරු පාටක් වගේම කහට රහක් තමයි තියෙන්නේ . කිලි තියෙන තැනකට මේ ගෙඩියක් අරගෙන ගියොත් කිලි වැදිලා මේ ගජ මධාරා ගෙඩිය පුපුරලා යනවා . අන්න ඒ විදියට පුළුවන් කිලි තියෙනවද නැත්ද කියලා හොයා ගන්න . ඒත් ඉතින් දැන් ගජ මධාරා ගස් හොයන්න ලේසි නෑ . වාසනාවට වගේ ලංකාවේ මම දන්න හඳුනාගත්ත එක ගජ මධාරා ගහක් තිනවා . හැබැයි තියෙන්නේ කොහෙද කියන එක රහසක්
දෙවිවරු මේ කිලි වලට අකමැතියි වගේම යක්කු පෙරේතයෝ මේ කිලි වලට කැමතියි . එයාලා මේ කිලි වලින් එන ගන්ධය ආග්‍රාණය කරලා බඩගින්න නිවා ගන්නවා වගේ දෙයක් කරගන්නවා . ඒ නිසා තමයි කිලි වැදිලා ඉන්න වෙලාවට ඉරමුදුන් ගොම්මන් මැදියම් කියන සමයන් වලදී හතරමං හන්දි තුම්මන් හන්දි වලින් තනියම යන්න එපා කියලා කියන්නේ . යක්කු මෙහෙම කිලි වලට කැමතියි කියලා කියන්නත හේතු තියෙනවා . සමහර මන්තර වල තමයි කියලා තියෙන්නේ යක්කු මෙහෙම කිලි වලට කැමතියි කියල .
ඉස්සර යක්ෂයින් ඉන්න කාලේ දැන් කාලේ වගේ ෆෙම්ස් , ආර්යා වගේ බ්‍රෑන්ඩ් තිබ්බේ නෑ . ඒ නිසා ඒ කාලේ අය පාවිච්චි කරලා තියෙන්නේ රෙදි කඩක් මේ වෙනුවෙන් . ඒ රෙදි කඩට කියන්නේ " කිලිකඩ " කියලා . යක්කුන්ට සමහර වෙලාවල් වලදී බිලි පූජා පුළුටු පූජා පවත්වනකොට මේ කිලිකඩ කියලා කියන ආර්තව රුධිරය තැවරුණු රෙදි කෑලිත් තියලා තියෙනවා ඒ පූජාවේ . එහෙම තිබ්බම යක්කු පෙරේතයෝ ගෙන්නගන්නත් උන්ගෙන් වැඩ කරවා ගන්නත් පහසුයි කියලා තමයි කියන්නේ . මේවා තියෙන්නේ මන්තර සාහිත්‍යයේ . ඒ නිසා ඇත්ත නැත්ත හොයන්න යන එක වැඩක් වෙයි කියලා මමනම් හිතන්නේ නෑ .
පිරිමින්ගෙන ඇතිවෙන කිල්ලක් ගැන මම කිව්වා මුලින් මතක ඇති . මේ ගැන විශේෂයෙන්ම කියන්න ඕන . පිරිමින් ස්වයං වින්දනයේ යෙදීමෙනුත් යම් කිල්ලක් ඇතිවෙනවා කියලා කියනවා . මේක ඉතාම සුළු අපිරිසිදුවක් කියලා තමයි කියන්නේ . ඒත් මේක සමහර ගුරුකම් වගේ දේවල් වලදී සුළුවෙන් තකන්නේ නෑ . ගුරුකම් ශිල්පයේ තියෙනවා ලංකේශ්වර උතුම් මහ රාවණා රජතුමාගේ කාලේ ඉඳලා පැවත එන ඉතාම බලගතු ගුරුකම් වර්ගයක් , " ගුරුළු ගුරුකම් " කියලා .
මේවා කරොත් සුවර් සොට් ඒවාට අදාළ හොඳ හෝ නරක බඩු හම්බෙනවා . ඒ වගේම තව තියෙනවා රිද්දි ගුරුකම් කියලා ගුරුකම් වර්ගයක් . ඒ ගුරුකමුත් ඉතාම බලවත් ඒවා . මේ දෙකේදීම පිරිමින්ගේ කිල්ල ගැන කතා කරනවා . මේ ගුරුකම් කරන්න කලිනුත් පිරිමින් කිසිම ආකාරයක ලිංගික ක්‍රියාවක් කරන්නේ නැතුව යම් කාලයක් පේ වෙන්න ඕන . ඒවගේම ගුරුකම් කරාට පස්සෙත් යම් කිසි නියම කරලා තියෙන කාලයක් ලිංගික ක්‍රියාවල යෙදෙන්නේ නැතුව ඉන්න ඕන . ගුරුළු ගුරුකම් වලදී මේ පේ වීම හරියට උනේ නැත්නම් ඇදුරා මිය යන්නත් ඉඩ තියෙනවා කියලා ඒ ගුරුකම් වලදී වැඩිදුර විස්තර කෙරෙනවා


ඕන් නමෝ පත්තිනි දෙවියන් වහන්සේත් පාලක ගුරුන්වහන්සේ මැරිච්ච දා කහ විල් හතකට මැද්දෙන් වැඩ සිටගෙන සත්‍යක් ක්‍රියා කරපු ආඥාවයි ආනු බවයි අදත් මගේ යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් අඳුන් සඳුන් ජීවම් වලට යන දා මගේ ඇගට කිලි කුණු නෙව දින්නට පත්තිනි දෙවියන් වහන්සේගෙන් වරම්. 21

5 comments:

  1. බෝධි පූජාවක් තියනකොට මලගෙදරක යන්න හොද නැද්ද?

    ReplyDelete
  2. Arakshaka nulak dammata pasu. Cigarette biwwata kamak nedda

    ReplyDelete
  3. කිළි සහිත පුදාගලයෙක් භාවිතා කරපු බඩු බාහිරාදිය මගින් අපිට කිළි පැමිණි නේද? උදා:- කිළි සහිත පුද්ගලයා භාවිතා කළ ජංගම දුරකථනය මගින්.

    ReplyDelete